24 : 1
سُورَةٌ أَنزَلْنَـٰهَا وَفَرَضْنَـٰهَا وَأَنزَلْنَا فِيهَآ ءَايَـٰتٍۭ بَيِّنَـٰتٍ لَّعَلَّكُمْ تَذَكَّرُونَ
මෙය පරිච්ඡේදයකි. අපි එය පහළ කළෙමු. තවද අපි එය (නුඹලා උදෙසා) නියම කළෙමු. තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස අපි එහි පැහැදිලි වදන් පහළ කළෙමු.
★
24 : 2
ٱلزَّانِيَةُ وَٱلزَّانِى فَٱجْلِدُوا۟ كُلَّ وَٰحِدٍ مِّنْهُمَا مِا۟ئَةَ جَلْدَةٍ ۖ وَلَا تَأْخُذْكُم بِهِمَا رَأْفَةٌ فِى دِينِ ٱللَّهِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ ۖ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَآئِفَةٌ مِّنَ ٱلْمُؤْمِنِينَ
කාම අපචාරයේ යෙදුණු (අවිවාහක) කාන්තාව හා කාම අපචාරයේ යෙදුණු (අවිවාහක) පිරිමියා යන දෙදෙනාගෙන් සෑම කෙනෙකුට ම කස පහර සියයක් බැගින් නුඹලා කසපහර දෙනු. නුඹලා අල්ලාහ් පිළිබඳව හා පරමාන්ත දිනය පිළිබඳව විශ්වාස කරමින් සිටියෙහු නම් අල්ලාහ්ගේ නීතිය තුළ ඔවුන් දෙදෙනා පිළිබඳ කිසිදු අනුකම්පාවක් නුඹලාව ග්‍රහණය නො කළ යුතු ය. ඔවුන් දෙදෙනාට දෙන දඬුවමෙහි දේවත්වය විශ්වාස කරන්නන්ගෙන් පිරිසක් සාක්ෂි ලෙස සිටිය යුතුයි.
★
24 : 3
ٱلزَّانِى لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلْمُؤْمِنِينَ
කාම අපාචාරයේ යෙදුණු පිරිමියා කාම අපචාරයේ යෙදුණ කාන්තාවකු හෝ දෙවියන්ට ආදේශ තැබූ කාන්තාවකු මිස වෙනත් කිසිවකු විවාහ කර නො ගනියි. තවද කාම අපචාරයේ යෙදුණු කාන්තාව වන ඇයව කාම අපචාරයේ යෙදුණු පිරිමියෙකු හෝ දෙවියන්ට ආදේශ තැබූ අයකු මිස විවාහ කර නො ගනියි. එවැන්නක් දේවත්වය විශ්වාස කරන්නන්හට තහනම් කරනු ලැබූවකි.
★
24 : 4
وَٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَـٰتِ ثُمَّ لَمْ يَأْتُوا۟ بِأَرْبَعَةِ شُهَدَآءَ فَٱجْلِدُوهُمْ ثَمَـٰنِينَ جَلْدَةً وَلَا تَقْبَلُوا۟ لَهُمْ شَهَـٰدَةً أَبَدًا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ
තවද පතිවත රකින කාන්තාවන්ට චෝදනා එල්ල කොට පසුව සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු රැගෙන නො ආවේ නම් එවිට නුඹලා ඔවුනට කසපහරවල් අසූවක් පහර දෙනු. කිසිවිටෙක ඔවුන්ගෙන් කිසිදු සාක්ෂියක් නුඹලා නො පිළිගනු. තවද ඔවුහු මය පාපතරයෝ.
★
24 : 5
إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ
එහෙත් ඉන්පසුව පශ්චාත්තාප වී හැඩගැසුණු අය හැර ය. එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
★
24 : 6
وَٱلَّذِينَ يَرْمُونَ أَزْوَٰجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَآءُ إِلَّآ أَنفُسُهُمْ فَشَهَـٰدَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَـٰدَٰتٍۭ بِٱللَّهِ ۙ إِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ
තවද ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අපවාද එල්ල කොට ඔවුනට ඔවුන් හැර වෙනත් සාක්ෂිකරුවන් නො වී නම් ඔවුන් එක් අයකුගේ සාක්ෂිය වනුයේ තමන් සත්‍යවාදීන් අතරින් යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි දැරීම ය.
★
24 : 7
وَٱلْخَـٰمِسَةُ أَنَّ لَعْنَتَ ٱللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ ٱلْكَـٰذِبِينَ
තවද තමන් මූසාවාදීන් අතරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ ශාපය අත් වේවා! යැයි පස්වැනි වරට සාක්ෂි දැරීම ය.
★
24 : 8
وَيَدْرَؤُا۟ عَنْهَا ٱلْعَذَابَ أَن تَشْهَدَ أَرْبَعَ شَهَـٰدَٰتٍۭ بِٱللَّهِ ۙ إِنَّهُۥ لَمِنَ ٱلْكَـٰذِبِينَ
තවද නියත වශයෙන් ම ඔහු මුසාවාදීන් අතරින් යැයි ඇය අල්ලාහ් මත සිව්වරක් දිවුරා සාක්ෂි දැරීම (ඇයට හිමි වන) එම දඬුවම ඇයගෙන් ඉවත් කරනු ඇත.
★
24 : 9
وَٱلْخَـٰمِسَةَ أَنَّ غَضَبَ ٱللَّهِ عَلَيْهَآ إِن كَانَ مِنَ ٱلصَّـٰدِقِينَ
තවද ඔහු (ඇගේ සැමියා) සත්‍යවාදීන් අතරින් නම් ඇය වෙත අල්ලාහ්ගේ උදහස ඇති වේවා! යැයි පස්වැනි වරට (ඇය) දිවුරා සාක්ෂි දැරීම ය.
★
24 : 10
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ وَأَنَّ ٱللَّهَ تَوَّابٌ حَكِيمٌ
තවද නුඹලා මත අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නො වී නම් (නුඹලා විනාශ වී යන්නට තිබිණ) තවද නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා ප්‍රඥාවන්ත ය.
★
24 : 11
إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلْإِفْكِ عُصْبَةٌ مِّنكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّا لَّكُم ۖ بَلْ هُوَ خَيْرٌ لَّكُمْ ۚ لِكُلِّ ٱمْرِئٍ مِّنْهُم مَّا ٱكْتَسَبَ مِنَ ٱلْإِثْمِ ۚ وَٱلَّذِى تَوَلَّىٰ كِبْرَهُۥ مِنْهُمْ لَهُۥ عَذَابٌ عَظِيمٌ
නියත වශයෙන් ම අපවාදය රැගෙන ආවේ නුඹලා අතරින් වූ පිරිසකි. නුඹලාට එය නපුරක් යැයි නුඹලා නො සිතනු. නැත, එය නුඹලාට යහපතකි. ඔවුන් අතරින් සෑම කෙනෙකුට ම පාපයෙන් තමන් උපයා ගත් දෑ ඇත. ඔවුන් අතරින් එහි විශාල කොටසක් පවරා ගත් අයට මහත් වූ දඬුවමක් ඇත.
★
24 : 12
لَّوْلَآ إِذْ سَمِعْتُمُوهُ ظَنَّ ٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَـٰتُ بِأَنفُسِهِمْ خَيْرًا وَقَالُوا۟ هَـٰذَآ إِفْكٌ مُّبِينٌ
නුඹලා එය ඇසූ විට දේවත්වය විශ්වාස කරන පුරුෂයින් හා කාන්තාවන් තම ප්‍රජාව පිළිබඳ යහපතක් සිතා මෙය පැහැදිලි අපවාදයක් යැයි පැවසිය යුතු නො වේ ද?
★
24 : 13
لَّوْلَا جَآءُو عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَآءَ ۚ فَإِذْ لَمْ يَأْتُوا۟ بِٱلشُّهَدَآءِ فَأُو۟لَـٰٓئِكَ عِندَ ٱللَّهِ هُمُ ٱلْكَـٰذِبُونَ
ඒ වෙත සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු ගෙන ආ යුතු නො වේ ද? එසේ එම සාක්ෂිකරුවන් ඔවුන් නො ගෙන ආ විට අල්ලාහ් අබියස ඔවුහු මය මුසාවාදීහූ.
★
24 : 14
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ لَمَسَّكُمْ فِى مَآ أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ
තවද මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ්ගේ අනුග්‍රහය හා ඔහුගේ කරුණාව නුඹලා වෙත නො වී නම් කවර විෂයක් සම්බන්ධයෙන් නුඹලා කතා කළෙහු ද එහි මහත් වූ දඬුවම නුඹලා ස්පර්ශ කරන්නට තිබුණි.
★
24 : 15
إِذْ تَلَقَّوْنَهُۥ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌ وَتَحْسَبُونَهُۥ هَيِّنًا وَهُوَ عِندَ ٱللَّهِ عَظِيمٌ
නුඹලාගේ දිවවලින් නුඹලා එය දෙඩූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාට කවර දෙයක් පිළිබඳ දැනුම නොමැත්තේ ද එය නුඹලා නුඹලාගේ මුඛවලින් පවසන්නෙහු ය. තවද නුඹලා එය සුළු දෙයක් ලෙස සිතන්නෙහු ය. එහෙත් එය අල්ලාහ් අබියස අතිබිහිසුණු ය.
★
24 : 16
وَلَوْلَآ إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا يَكُونُ لَنَآ أَن نَّتَكَلَّمَ بِهَـٰذَا سُبْحَـٰنَكَ هَـٰذَا بُهْتَـٰنٌ عَظِيمٌ
නුඹලා එයට සවන් දුන් අවස්ථාවේ, ‘මේ ගැන අපි කතා කිරීමට අපට සුදුසු නො වේ. (අල්ලාහ්) ඔබ සුවිශුද්ධ ය. මෙය අතිමහත් අපවාදයකි යැ’යි නුඹලා පවසන්නට තිබුණා නො වේ ද?
★
24 : 17
يَعِظُكُمُ ٱللَّهُ أَن تَعُودُوا۟ لِمِثْلِهِۦٓ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَ
නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා කිසිවිටෙකත් නැවත යොමු වීමෙන් වැළකීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි.
★
24 : 18
وَيُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරයි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
★
24 : 19
إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلْفَـٰحِشَةُ فِى ٱلَّذِينَ ءَامَنُوا۟ لَهُمْ عَذَابٌ أَلِيمٌ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
නියත වශයෙන් ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්‍රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. එහෙත් නුඹලා නො දන්නෙහු ය.
★
24 : 20
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ وَأَنَّ ٱللَّهَ رَءُوفٌ رَّحِيمٌ
තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්‍රහය හා ඔහුගේ කරුණාව නො වී නම් (නුඹලා විනාශ වන්නට තිබුණි.) නමුත් නියත වශයෙන් ම අල්ලාහ් සානුකම්පිත ය; මහා කරුණාන්විත ය.
★
24 : 21
۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَـٰنِ ۚ وَمَن يَتَّبِعْ خُطُوَٰتِ ٱلشَّيْطَـٰنِ فَإِنَّهُۥ يَأْمُرُ بِٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ ۚ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنْ أَحَدٍ أَبَدًا وَلَـٰكِنَّ ٱللَّهَ يُزَكِّى مَن يَشَآءُ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නො කරනු. තවද කවරෙකු ෂෙයිතාන්ගේ පියවර අනුගමනය කරන්නේ ද එවිට (දැනගනු!) ඔහු අශීලාචාර දෑ හා පිළිකුල් සහගත දෑ නියෝග කරන්නේ ය. තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්‍රහය සහ ඔහුගේ කරුණාව නො වී නම් නුඹලා අතරින් කිසිවකු හෝ පිවිතුරු නො වනු ඇත. එහෙත් අල්ලාහ් ඔහු අභිමත කරන අය පිවිතුරු කරයි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
★
24 : 22
وَلَا يَأْتَلِ أُو۟لُوا۟ ٱلْفَضْلِ مِنكُمْ وَٱلسَّعَةِ أَن يُؤْتُوٓا۟ أُو۟لِى ٱلْقُرْبَىٰ وَٱلْمَسَـٰكِينَ وَٱلْمُهَـٰجِرِينَ فِى سَبِيلِ ٱللَّهِ ۖ وَلْيَعْفُوا۟ وَلْيَصْفَحُوٓا۟ ۗ أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ ٱللَّهُ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ
තවද සමීප ඥාතීන්ට, දුප්පතුන්ට, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගියවුන්ට පිරි නො නමන බවට නුඹලා අතරින් භාග්‍ය සම්පන්නයින් හා වස්තුව ඇත්තන් දිවුරිය නො යුතු ය. (ඔවුනට) ඔවුහු සමාව දෙත්වා! තවද (ඒ ගැන) නොසළකා හරිත්වා! අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්‍රිය නො කරන්නෙහු ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
★
24 : 23
إِنَّ ٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَـٰتِ ٱلْغَـٰفِلَـٰتِ ٱلْمُؤْمِنَـٰتِ لُعِنُوا۟ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන, අහිංසක, පතිවත රකින කාන්තාවන්හට අවලාද පවසන්නන් වනාහි ඔවුන් මෙලොවෙහි හා මතු ලොවෙහි ශාප කරනු ලැබුවෝ ය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
★
24 : 24
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ
ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ දිවවල් ද, ඔවුන්ගේ අත් ද, ඔවුන්ගේ පාද ද ඔවුනට එරෙහිව එදින සාක්ෂි දරනු ඇත.
★
24 : 25
يَوْمَئِذٍ يُوَفِّيهِمُ ٱللَّهُ دِينَهُمُ ٱلْحَقَّ وَيَعْلَمُونَ أَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ ٱلْمُبِينُ
එදින ඔවුන් ගැන සැබෑ විනිශ්චය අල්ලාහ් ඔවුනට පූර්ණව පිරිනමයි. නියත වශයෙන් ම අල්ලාහ් වනාහි ඔහු මය පැහැදිලි සත්‍යය වනුයේ යැයි ඔවුහු දැන ගනු ඇත.
★
24 : 26
ٱلْخَبِيثَـٰتُ لِلْخَبِيثِينَ وَٱلْخَبِيثُونَ لِلْخَبِيثَـٰتِ ۖ وَٱلطَّيِّبَـٰتُ لِلطَّيِّبِينَ وَٱلطَّيِّبُونَ لِلطَّيِّبَـٰتِ ۚ أُو۟لَـٰٓئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَ ۖ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
අසභ්‍ය කාන්තාවෝ අසභ්‍ය පුරුෂයින් වෙනුවෙනි. තවද අසභ්‍ය පුරුෂයෝ අසභ්‍ය කාන්තාවන් වෙනුවෙනි. තවද දැහැමි කාන්තාවෝ දැහැමි පුරුෂයින් වෙනුවෙනි. තවද දැහැමි පුරුෂයෝ දැහැමි කාන්තාවන් වෙනුවෙනි. ඔවුහු ඔවුන් පවසන දැයින් නිදොස් වූවෝ වෙති. ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.
★
24 : 27
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا۟ وَتُسَلِّمُوا۟ عَلَىٰٓ أَهْلِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නො වන නිවෙස්වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නො වනු. එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය. (මෙය) නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස ය.
★
24 : 28
فَإِن لَّمْ تَجِدُوا۟ فِيهَآ أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّىٰ يُؤْذَنَ لَكُمْ ۖ وَإِن قِيلَ لَكُمُ ٱرْجِعُوا۟ فَٱرْجِعُوا۟ ۖ هُوَ أَزْكَىٰ لَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ
එහෙත් එහි කිසිවකු හෝ නුඹලා නො දුටුවෙහු නම් නුඹලාට අවසර දෙනු ලබන තෙක් එහි නුඹලා ඇතුළු නො වනු. නුඹලා හැරී යනු යැයි නුඹලාට කියනු ලැබුවේ නම් එවිට නුඹලා හැරී යනු. එය නුඹලාට වඩාත් පිවිතුරු ය. තවද නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.
★
24 : 29
لَّيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ مَسْكُونَةٍ فِيهَا مَتَـٰعٌ لَّكُمْ ۚ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ
නුඹලාට අවශ්‍යතා ඇති එහි කිසිවකු වාසය නො කරන නිවෙස්වලට නුඹලා ඇතුළු වීම නුඹලා කෙරෙහි වරදක් නො වේ. තවද නුඹලා හෙළි කරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද අල්ලාහ් දනියි.
★
24 : 30
قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا۟ مِنْ أَبْصَـٰرِهِمْ وَيَحْفَظُوا۟ فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا يَصْنَعُونَ
දේවත්වය විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද, ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන් ද නුඹ පවසනු. එය ඔවුනට වඩාත් පිවිතුරු වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
★
24 : 31
وَقُل لِّلْمُؤْمِنَـٰتِ يَغْضُضْنَ مِنْ أَبْصَـٰرِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ ءَابَآئِهِنَّ أَوْ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَآئِهِنَّ أَوْ أَبْنَآءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ أَخَوَٰتِهِنَّ أَوْ نِسَآئِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُنَّ أَوِ ٱلتَّـٰبِعِينَ غَيْرِ أُو۟لِى ٱلْإِرْبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفْلِ ٱلَّذِينَ لَمْ يَظْهَرُوا۟ عَلَىٰ عَوْرَٰتِ ٱلنِّسَآءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ ۚ وَتُوبُوٓا۟ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
තවද දේවත්වය විශ්වාස කරන කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද, ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන් ද, ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නො කරන මෙන් ද, ඔවුන්ගේ ළැම මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු. තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට හෝ ඔවුන්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ කාන්තාවන්ට හෝ ඔවුන්ගේ දකුණත් හිමිකරගත් අයට හෝ පිරිමින් අතරින් කාමාශාවකින් තොරව උපස්ථාන කරන්නන්ට හෝ ස්ත්‍රීන්ගේ රහස්‍ය පෙදෙස් ගැන වැටහීමක් නැති දරුවන්ට මිස වෙනත් කිසිවකුට හෙළි නො කළ යුතු ය. තවද ඔවුන්ගේ අලංකාරයෙන් ඔවුන් සඟවන දෑ දන්වා සිටිනු පිණිස ඔවුන්ගේ පාද (පොළවෙහි) නො ගැසිය යුතු ය. තවද අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
★
24 : 32
وَأَنكِحُوا۟ ٱلْأَيَـٰمَىٰ مِنكُمْ وَٱلصَّـٰلِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَآئِكُمْ ۚ إِن يَكُونُوا۟ فُقَرَآءَ يُغْنِهِمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ
තවද නුඹලා අතරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වැහැලියන් අතරින් දැහැමියන්ට නුඹලා විවාහ කර දෙනු. ඔවුන් දිළිඳුන් නම් අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය.
★
24 : 33
وَلْيَسْتَعْفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَٱلَّذِينَ يَبْتَغُونَ ٱلْكِتَـٰبَ مِمَّا مَلَكَتْ أَيْمَـٰنُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا ۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِىٓ ءَاتَىٰكُمْ ۚ وَلَا تُكْرِهُوا۟ فَتَيَـٰتِكُمْ عَلَى ٱلْبِغَآءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوا۟ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَمَن يُكْرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعْدِ إِكْرَٰهِهِنَّ غَفُورٌ رَّحِيمٌ
තවද විවාහය සඳහා (යමක්) නො ලබන්නන් අල්ලාහ් ඔහුගේ අනුග්‍රහයෙන් ඔවුන් පොහොසත් කරවන තෙක් පිවිතුරුභාවය රැකිය යුතු ය. නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය අතරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු. නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ ධනයෙන් නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා මෙලොව ජීවිතයේ සම්පත සොයනු පිණිස පිවිතුරුභාවය රකින්නට සිතූ වහල් තරුණියන් අපචාරය වෙත බල නො කරනු. තවද කවරෙකු ඔවුනට බල කරන්නේ ද එසේ ඔවුනට බල කරනු ලැබීමෙන් පසුව ද නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
★
24 : 34
وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ ءَايَـٰتٍ مُّبَيِّنَـٰتٍ وَمَثَلًا مِّنَ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
තවද සැබැවින් ම අපි නුඹලා වෙත පැහැදිලි කරන වදන් ද, නුඹලාට පෙර ඉකුත්ව ගියවුන් පිළිබඳ නිදසුන් ද, බිය බැතිමතුන්හට උපදෙස් ද පහළ කළෙමු.
★
24 : 35
۞ ٱللَّهُ نُورُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ مَثَلُ نُورِهِۦ كَمِشْكَوٰةٍ فِيهَا مِصْبَاحٌ ۖ ٱلْمِصْبَاحُ فِى زُجَاجَةٍ ۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّىٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَـٰرَكَةٍ زَيْتُونَةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِىٓءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُّورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِى ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُ ۚ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَـٰلَ لِلنَّاسِ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌ
අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි. ඔහුගේ ආලෝකයට උපමාව පහනක් ඇති බිත්ති කුහරයක් මෙනි. එම පහන පළිඟුවක් තුළ ය. එම පළිඟුව බැබළෙන තරුවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් දවාලනු ලබන්නකි. එය නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ අයත් නැත. ගින්න එ(ම තෙල) ස්පර්ශ නො කළ ද එය ආලෝකය විහිදුවයි. ආලෝකය මත ආලෝකයයි. අල්ලාහ් අභිමත කරන අයට එම ආලෝකය වෙතට මග පෙන්වයි. ජනයාට මෙම උපමාවන් අල්ලාහ් ගෙන හැර පාන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානී ය.
★
24 : 36
فِى بُيُوتٍ أَذِنَ ٱللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا ٱسْمُهُۥ يُسَبِّحُ لَهُۥ فِيهَا بِٱلْغُدُوِّ وَٱلْـَٔاصَالِ
ඒවා උසට ඉදිකරනු ලබන්නටත් එහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලබන්නටත් (අල්ලාහ්ගේ) නිවෙස්හි අල්ලාහ් අවසර දී ඇත. එහි උදේ සවස (මිනිසුන්) ඔහුව සුවිශුද්ධ කරති.
★
24 : 37
رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَـٰرَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ ٱللَّهِ وَإِقَامِ ٱلصَّلَوٰةِ وَإِيتَآءِ ٱلزَّكَوٰةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ ٱلْقُلُوبُ وَٱلْأَبْصَـٰرُ
(ඔවුහු) තම ව්‍යාපාරය හෝ ගනුදෙනුව හෝ අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත්ව ඉටු කිරීමෙන් ද zසකාත් පිරිනැමීමෙන් ද ඔවුන් වෙනතකට යොමු නො කළ මිනිසුන් ය. හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.
★
24 : 38
لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا عَمِلُوا۟ وَيَزِيدَهُم مِّن فَضْلِهِۦ ۗ وَٱللَّهُ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍ
එය ඔවුන් සිදු කළ වඩාත් අලංකාර දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල පිරිනැමීම පිණිසත් ඔහුගේ අනුග්‍රහය තුළින් ඔවුනට සමෘධිමත් කරනු පිණිසත් ය. තවද අල්ලාහ් අභිමත කරන අයට කිසිදු ගණනයකින් තොරව පෝෂණය කරයි.
★
24 : 39
وَٱلَّذِينَ كَفَرُوٓا۟ أَعْمَـٰلُهُمْ كَسَرَابٍۭ بِقِيعَةٍ يَحْسَبُهُ ٱلظَّمْـَٔانُ مَآءً حَتَّىٰٓ إِذَا جَآءَهُۥ لَمْ يَجِدْهُ شَيْـًٔا وَوَجَدَ ٱللَّهَ عِندَهُۥ فَوَفَّىٰهُ حِسَابَهُۥ ۗ وَٱللَّهُ سَرِيعُ ٱلْحِسَابِ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් කාන්තාරයේ ඇති මිරිඟුවකට සමාන ය. පිපාසිතයා එය ජලය යැයි සිතයි. එහෙත් ඔහු එහි පැමිණි විට ඔහු එය කිසිවක් ලෙස නො දකිනු ඇත. තවද ඔහු එහි අල්ලාහ්ව දකිනු ඇත. ඔහුගේ විනිශ්චය අල්ලාහ් සම්පූර්ණ කළේ ය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.
★
24 : 40
أَوْ كَظُلُمَـٰتٍ فِى بَحْرٍ لُّجِّىٍّ يَغْشَىٰهُ مَوْجٌ مِّن فَوْقِهِۦ مَوْجٌ مِّن فَوْقِهِۦ سَحَابٌ ۚ ظُلُمَـٰتٌۢ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَآ أَخْرَجَ يَدَهُۥ لَمْ يَكَدْ يَرَىٰهَا ۗ وَمَن لَّمْ يَجْعَلِ ٱللَّهُ لَهُۥ نُورًا فَمَا لَهُۥ مِن نُّورٍ
එසේ නැතහොත් (ඔවුන්ගේ ක්‍රියාවන් වනාහි) ගැඹුරු මුහුදෙහි පවතින අන්ධකාරයන් මෙනි. රළක් එය ආවරණය කරයි. ඊට ඉහළින් තවත් රළකි. ඊට ඉහළින් වලාකුළකි. අන්ධකාරයන් ඒවායෙහි සමහරක් සමහරකට ඉහළින් පවතී. ඔහු තම අත බැහැර කළ ද ඔහුට එය දැක ගත නොහැකි වෙයි. තවද අල්ලාහ් කවරෙකුට ආලෝකය ඇති නො කරන්නේ ද එවිට කිසිදු ආලෝකයක් ඔහුට නොමැත.
★
24 : 41
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلطَّيْرُ صَـٰٓفَّـٰتٍ ۖ كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهُۥ وَتَسْبِيحَهُۥ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද තටු විහිදුවා ගත් පක්ෂීන් ද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහුව සුවිශුද්ධ කරන වග නුඹ නො දුටුවෙහි ද? තම නැමදුම හා සුවිශුද්ධ කිරීම ගැන සැබැවින් ම සෑම කෙනෙකුම දැන සිටියි. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳව සර්ව ඥානී ය.
★
24 : 42
وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. තවද නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙත ය.
★
24 : 43
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُزْجِى سَحَابًا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُۥ ثُمَّ يَجْعَلُهُۥ رُكَامًا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَـٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٍ فِيهَا مِنۢ بَرَدٍ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصْرِفُهُۥ عَن مَّن يَشَآءُ ۖ يَكَادُ سَنَا بَرْقِهِۦ يَذْهَبُ بِٱلْأَبْصَـٰرِ
අල්ලාහ් වලාකුළු සෙමින් ගමන් කරවා පසුව ඒ අතර අමුණා පසුව එය එකින් එක මත පිහිටන ඝන වලාකුළක් බවට පත් කිරීම නුඹ නො දුටුවෙහි ද? එවිට ඒ අතරින් බැහැර වන වර්ෂාව නුඹ දකිනු ඇත. අහසෙහි ඇති (වලා) කඳුවලින් සීත හිම ඔහු පහළ කරයි. එවිට එය ඔහු අභිමත කරන අයට ලබන්නට සලස්වන අතර ඔහු අභිමත කරන අයගෙන් එය හරවා යවයි. එහි අකුණු එළිය දෘෂ්ටීන් පැහැර ගන්නාක් මෙන් වෙයි.
★
24 : 44
يُقَلِّبُ ٱللَّهُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّأُو۟لِى ٱلْأَبْصَـٰرِ
අල්ලාහ් රාත්‍රිය හා දහවල පෙරළයි. නියත වශයෙන් ම දෘෂ්ටීන් ඇත්තන්හට එහි පාඩමක් ඇත.
★
24 : 45
وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍ مِّن مَّآءٍ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේ ය. එනම් ඔවුන් අතරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
★
24 : 46
لَّقَدْ أَنزَلْنَآ ءَايَـٰتٍ مُّبَيِّنَـٰتٍ ۚ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
තවද අපි පැහැදිලි වදන් සැබැවින් ම පහළ කළෙමු. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට ඍජු මාවත වෙත මග පෙන්වනු ඇත.
★
24 : 47
وَيَقُولُونَ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِّنْهُم مِّنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَـٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ
තවද අපි අල්ලාහ් හා ධර්ම දූතයා ගැන විශ්වාස කළෙමු. තවද අපි අවනත වූයෙමු යැයි ඔවුහු පවසති. ඉන් අනතුරුව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියේ ය. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නො වෙති.
★
24 : 48
وَإِذَا دُعُوٓا۟ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِّنْهُم مُّعْرِضُونَ
තවද අල්ලාහ් වෙත හා ඔහුගේ ධර්ම දූතයා වෙත ඔවුන් අතර ඔහු තීන්දු දෙනු වස් ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් පිටු පා යන්නෝ වූහ.
★
24 : 49
وَإِن يَكُن لَّهُمُ ٱلْحَقُّ يَأْتُوٓا۟ إِلَيْهِ مُذْعِنِينَ
තවද සත්‍යය ඔවුනට පක්ෂව පිහිටියේ නම් ඔවුහු යටත් වූවන් ලෙස ඔහු වෙත පැමිණෙනු ඇත.
★
24 : 50
أَفِى قُلُوبِهِم مَّرَضٌ أَمِ ٱرْتَابُوٓا۟ أَمْ يَخَافُونَ أَن يَحِيفَ ٱللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُۥ ۚ بَلْ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
ඔවුන්ගේ හදවත් තුළ රෝගයක් ද? එසේ නැතහොත් ඔවුහු සැක කළෝ ද? එසේත් නැතහොත් ඔවුනට එරෙහිව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අසාධාරණයක් කරතැයි ඔවුහු බිය වෙත් ද? එසේ නොව අපරාධකරුවෝ ඔවුහු ම ය.
★
24 : 51
إِنَّمَا كَانَ قَوْلَ ٱلْمُؤْمِنِينَ إِذَا دُعُوٓا۟ إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا۟ سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
ඔවුන් අතර තීන්දු දීම පිණිස අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන්නන්ගේ ප්‍රකාශය වූයේ අපි සවන් දුනිමු, අවනත වූයෙමු යන්න ය. තවද ජය ලබන්නෝ ඔවුහු ම ය.
★
24 : 52
وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَخْشَ ٱللَّهَ وَيَتَّقْهِ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී අල්ලාහ්ට බිය වී ඔහුට බැතිමත් වන්නෝ ද එවිට ජය ලැබූවෝ ඔවුහු ම ය.
★
24 : 53
۞ وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ ۖ قُل لَّا تُقْسِمُوا۟ ۖ طَاعَةٌ مَّعْرُوفَةٌ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
තවද (යුද්ධය සඳහා) නුඹ ඔවුනට අණ කළෙහි නම් ඔවුන් පිටත් වන බවට ඔවුන්ගේ බලවත් දිවුරුම අල්ලාහ් මත දිවුරති. (එසේ) දිවුරුම් නො කරනු. අවනත වීම ප්‍රකට කරුණකි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත බව (නබිවරය!) නුඹ පවසනු.
★
24 : 54
قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ ۖ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا۟ ۚ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ
නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද පණිවිඩකරුට ද අවනත වනු යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට ඔහු මත පටවනු ලැබූ දෑ ඔහු කෙරෙහිය, නුඹලා මත පටවනු ලැබූ දෑ නුඹලා කෙරෙහි ය. තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. පණිවිඩකරු වෙත පැවරෙනුයේ පැහැදිලිව දන්වා සිටීම මිස නැත.
★
24 : 55
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِى ٱلْأَرْضِ كَمَا ٱسْتَخْلَفَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ ٱلَّذِى ٱرْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعْدِ خَوْفِهِمْ أَمْنًا ۚ يَعْبُدُونَنِى لَا يُشْرِكُونَ بِى شَيْـًٔا ۚ وَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ
තවද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුනට, ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසුව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය. ඔවුහු මට නැමදුම් කරති. මට කිසිවක් ආදේශ නො කරති. තවද මින් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට ඔවුහු මය පාපතරයෝ.
★
24 : 56
وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ
තවද නුඹලා දයාව ලබනු පිණිස නුඹලා සලාතය විධිමත්ව ඉටු කරනු. zසකාත් ද පිරිනමනු. රසූල්වරයාට ද අවනත වනු.
★
24 : 57
لَا تَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ ۚ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ وَلَبِئْسَ ٱلْمَصِيرُ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් මහපොළොවේ (අල්ලාහ්ගේ සැලසුම්) නොහැකියාවට පත් කරන්නන් යැයි නුඹලා නො සිතිය යුතු ය. ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්න ය. තවද ඔවුන් යොමු වන ස්ථානය නපුරු විය.
★
24 : 58
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لِيَسْتَـْٔذِنكُمُ ٱلَّذِينَ مَلَكَتْ أَيْمَـٰنُكُمْ وَٱلَّذِينَ لَمْ يَبْلُغُوا۟ ٱلْحُلُمَ مِنكُمْ ثَلَـٰثَ مَرَّٰتٍ ۚ مِّن قَبْلِ صَلَوٰةِ ٱلْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعْدِ صَلَوٰةِ ٱلْعِشَآءِ ۚ ثَلَـٰثُ عَوْرَٰتٍ لَّكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌۢ بَعْدَهُنَّ ۚ طَوَّٰفُونَ عَلَيْكُم بَعْضُكُمْ عَلَىٰ بَعْضٍ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය ද වැඩිවියට ළඟා නො වූ අය ද නුඹලාගෙන් (අවස්ථා) වාර තුනක් අවසර පැතිය යුතු ය. එනම් ෆජ්ර් සලාතයට පෙර ද, මධ්‍යහන කාලයේ නුඹලාගේ ඇඳුම් නුඹලා ලිහා තබන අවස්ථාවේ ද, ඉෂා සලාතයෙන් පසු ද වේ. නුඹලාට එය පෞද්ගලික අවස්ථා තුනකි. ඒවාට පසුව නුඹලා කෙරෙහි හෝ ඔවුන් කෙරෙහි හෝ දොසක් නොමැත. නුඹලා වෙත නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු අතර නිතර සැරිසරන්නෝ වෙති. අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ එලෙස ය. තවද අල්ලාහ් සර්වඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
★
24 : 59
وَإِذَا بَلَغَ ٱلْأَطْفَـٰلُ مِنكُمُ ٱلْحُلُمَ فَلْيَسْتَـْٔذِنُوا۟ كَمَا ٱسْتَـْٔذَنَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَـٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද නුඹලා අතර වූ දරුවන් වැඩිවියට පත් වූ විට ඔවුනට පෙර (වැඩිවියට පත්) වූවන් අවසර පැතුවාක් මෙන් ඔවුන් ද අවසර පැතිය යුතු ය. අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙස ය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
★
24 : 60
وَٱلْقَوَٰعِدُ مِنَ ٱلنِّسَآءِ ٱلَّـٰتِى لَا يَرْجُونَ نِكَاحًا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَن يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَـٰتٍۭ بِزِينَةٍ ۖ وَأَن يَسْتَعْفِفْنَ خَيْرٌ لَّهُنَّ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
තවද විවාහයක් අපේක්ෂා නො කරන කාන්තාවන් අතරින් වයෝවෘද්ධ කාන්තාවන් වනාහි ඔවුන් (තම) අලංකාරය ප්‍රදර්ශනය කිරීමෙන් තොරව (මතුපිට) ඇඳුම් ගලවා තැබීම ඔවුන් කෙරෙහි වරදක් නොමැත. එහෙත් ඔවුන් තැන්පත් බව රැකීම ඔවුනට වඩාත් උතුම් ය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
★
24 : 61
لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌ وَلَا عَلَىٰٓ أَنفُسِكُمْ أَن تَأْكُلُوا۟ مِنۢ بُيُوتِكُمْ أَوْ بُيُوتِ ءَابَآئِكُمْ أَوْ بُيُوتِ أُمَّهَـٰتِكُمْ أَوْ بُيُوتِ إِخْوَٰنِكُمْ أَوْ بُيُوتِ أَخَوَٰتِكُمْ أَوْ بُيُوتِ أَعْمَـٰمِكُمْ أَوْ بُيُوتِ عَمَّـٰتِكُمْ أَوْ بُيُوتِ أَخْوَٰلِكُمْ أَوْ بُيُوتِ خَـٰلَـٰتِكُمْ أَوْ مَا مَلَكْتُم مَّفَاتِحَهُۥٓ أَوْ صَدِيقِكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَأْكُلُوا۟ جَمِيعًا أَوْ أَشْتَاتًا ۚ فَإِذَا دَخَلْتُم بُيُوتًا فَسَلِّمُوا۟ عَلَىٰٓ أَنفُسِكُمْ تَحِيَّةً مِّنْ عِندِ ٱللَّهِ مُبَـٰرَكَةً طَيِّبَةً ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ لَعَلَّكُمْ تَعْقِلُونَ
නුඹලාගේ නිවෙස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පිය පාර්ෂවයේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස්වල හෝ යතුරු තමන් සන්තකයේ ඇති නිවෙස්වල හෝ නුඹලාගේ මිතුරන්ගේ නිවෙස්වල හෝ නුඹලා ආහාර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. එමෙන් ම අන්ධයා කෙරෙහි හෝ කොරා කෙරෙහි හෝ රෝගියා කෙරෙහි හෝ වරදක් නැත. නුඹලා එකට ආහාර ගැනීම හෝ කණ්ඩායම් වශයෙන් වෙන්ව ආහාර ගැනීම හෝ වරදක් නැත. නුඹලා නිවෙස්වලට පිවිසෙන්නෙහු නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් වශයෙන් නුඹලා වෙත සලාම් පවසනු. අල්ලාහ් නුඹලාට එලෙස එම වදන් පැහැදිලි කරනුයේ නුඹලා වටහා ගනු පිණිස ය.
★
24 : 62
إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُوا۟ مَعَهُۥ عَلَىٰٓ أَمْرٍ جَامِعٍ لَّمْ يَذْهَبُوا۟ حَتَّىٰ يَسْتَـْٔذِنُوهُ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ ۚ فَإِذَا ٱسْتَـْٔذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمُ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ
දේවත්වය විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන් ය. තවද ඔවුහු ඔහු සමඟ යම් සාමුහික කරුණක සිටි විට ඔහුගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු නික්ම නො යති. නියත වශයෙන් ම නුඹගෙන් අවසර පැතූවන් වනාහි ඔවුහු මය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කරන්නෝ. එහෙයින් ඔවුන්ගේ ඇතැම් කරුණු සඳහා ඔවුහු නුඹගෙන් අවසර පැතූ විට ඔවුන් අතරින් නුඹ කැමති අයට අවසර දෙනු. තවද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය.
★
24 : 63
لَّا تَجْعَلُوا۟ دُعَآءَ ٱلرَّسُولِ بَيْنَكُمْ كَدُعَآءِ بَعْضِكُم بَعْضًا ۚ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمْ لِوَاذًا ۚ فَلْيَحْذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِۦٓ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ
නුඹලා ඇතැමෙක් ඇතැමෙකුට අමතන සේ නුඹලා අතර රසූල්වරයාව නො අමතනු. නුඹලා අතරින් සැඟ වී ලිස්සා යන්නන් පිළිබඳව සැබැවින් ම අල්ලාහ් දනී. ඔහුගේ අණට විරුද්ධවන්නන් ඔවුනට අර්බුදයක් ඇති වීම ගැන හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම ගැන ප්‍රවේශම් විය යුතු ය.
★
24 : 64
أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَآ أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ
දැන ගනු. අහස්හි හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන් ම අල්ලාහ් සතු ය. නුඹලා කවර දෙයක් මත සිටින්නෙහු ද එය ඔහු සැබැවින් ම දනියි. තවද ඔහු වෙත ඔවුන් යොමු කරනු ලබන දින ඔහු ඔවුන් සිදු කළ දෑ පිළිබඳව ඔවුනට දන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
★